Thursday, February 28, 2013

ගර්භනී කාලයේ අධික ඔක්කාරය සහ වමනය සැදීම | morning sickness


ගර්භනී කාලයේ අධික ඔක්කාරය සහ වමනය සැදීම ගර්භනී කාන්තාවන්ගෙන් තුනෙන් එකකට බලපාන බව පෙනී ගොස් ඇත. එසේ බලපාන කාන්තාවන්ගෙන් භාගයකට පමණ ඔක්කාරය සහ වමනය යන දෙකම සෑදෙන අතර ¼ කට සෑදෙන්නේ ඔක්කාරය පමණි. මෙම අපහසුතාවය සෑදෙන ඉතිරි කාන්තාවන්ට එම තත්වය බලපාන්නේ සුළු වශයෙන් පමණක් වන අතර එය ඉක්මනින් පහව යයි.
ඔක්කාරය හෝ වමනය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ගර්භනී සමයේ 6 වන සතිය පමණ වන විටය. නමුත් ඇතැම් විට එය 4 වන සතියේදී පවා ආරම්භ විය හැක. එසේම එම තත්වය ඊළඟ මාසය තුල ඇතැම් විට වැඩි විය හැක.
මෙසේ ඔක්කාරය හෝ වමනය සෑදෙන කාන්තාවන්ගෙන් භාගයක් පමණ ගර්භනී සමයේ 14 වන සතිය පමණ වන විට සම්පූර්ණයෙන් සුව වේ. ඉතිරි අයට එම තත්වය තවත් මාසයක් පමණ පැවතිය හැක. එසේම ඇතැමුන්ට මෙසේ පහව ගිය ඔක්කාරය/වමනය නැවත විටින් විට සැදීමට ඉඩ ඇත. ඉතා කලාතුරකින් ඇතැම් කාන්තාවන්ට මෙම තත්වය ගර්භනී සමය පුරාම පැවතිය හැක.
ඇතැම් කාන්තාවන්ට මෙම රෝග ලක්ෂණ මතු වන්නේ උදැසන කාලයේදී පමණකි. නමුත් බොහෝ කාන්තාවන්ට මෙම ලක්ෂණ දවසේ ඕනෑම වෙලාවක හෝ දවස පුරාම පැවතිය හැක. එසේම මෙම රෝග ලක්ෂණ කොපමණ තදින් පවතින්නේද යන්නත් එකිනෙකාට වෙනස් විය හැක.
http://www.telegraph.co.uk

මෙම රෝගී තත්වය ඇති වන්නේ ඇයි?


මෙම තත්වයට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන්ම හඳුනාගෙන නොමැත. නමුත් පහත දකවා ඇති හේතුන්ගෙන් එකක් හෝ කිහිපයක් බලපෑ හැකි බව කිව හැක.
·         එච් සී ජී (HCG) හෝමෝනය: මෙම හෝමෝනය ගර්භනී කාලයේ ඔබගේ සිරුර තුල විශාල වශයෙන් නිපදවේ. මෙම හෝමෝනය ඔක්කාරය හෝ වමනය ඇති කරන්නේ කෙසේදැයි කෙලින්ම කිව නොහැකි නමුත් මෙම හෝමෝනයේ බලපෑමක් ඇති බව විවිධ හේතු නිසා පැහැදිලි වේ. එනම් ඔක්කාරය/වමනය ආරම්හ වන කාලය සහ මෙම හෝමෝනය ඔබගේ සිරුරේ වැඩි වශයෙන් නිපදවෙන කාලය එකම වීම සහ මෙම හෝමෝනය වඩාත් වැඩිපුර නිපදවෙන අවස්ථා වන නිවුන් දරු ගර්භනී අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ සැදීමේ වැඩි අවදානමක් තිබීම වේ.
·         ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනය: මෙම හෝමෝනයද ගර්භනී සමයේදී සීඝ්‍ර ලෙස වැඩි වන හෝමෝනයකි. මෙම හෝමෝනයද රෝග ලක්ෂණ ඇති කිරීමට දායක වන බව හඳුනාගෙන තිබේ.
·         ගර්භනී සමයේ ගඳ/සුවඳ දැනීමේ හැකියාව වැඩි වීම සහ එම සුවඳ වලට ඇති සංවේදීතාවය වැඩි වීම: ගර්භනී සමයේ ඔබට ගඳ/සුවඳ දැනීමේ හැකියාව වැඩි වන බව සමහර විට ඔබත් ඇත දැක ඇති. මෙසේ වැඩිපුර ගඳ/සුවඳ දැනීම සහ එම ගඳ සුවඳ වලට සංවේදීත්වය වැඩි වීම නිසා ඇතැම් සුවඳ වල දැනුනු විට ඔක්කාරය/වමනය ඇති විය හැක. මෙසේ වීමට හේතුවක්ද මෙතෙක් නිශ්චිතව සොයා ගෙන නැත.
·         ඇතැම් කාන්තාවන්ගේ ආහාර මාර්ගය ගර්භනී කාලයේදී වඩාත් සංවේදී බවට පත්වේ. එසේම ඇතැම් විට ඔබට හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter pylori) නමින් හඳුන්වන බැක්ටීරියාව නිසා ඇති වන ගැස්ට්‍රයිටිස් රෝග තත්වය තිබේ නම් එයද ඔක්කාරය/වමනය වැඩි වීමට හේතු වනවා ඇත.
එසේම මෙම ඔක්කාරය/වමනය ඇති වීමට මානසික හේතූන්ද බලපෑ හැකි බව ඇතැම් පර්යේෂකයින් පෙන්වා දී ඇති නමුත් මෙය තවමත් තහවුරු වී නොමැත.

ඇතැම් ගර්භනී කාතාවන්ට ඔක්කාරය/වමනය සැදීමේ වැඩි අවදානමක් තිබේද?


ඔබට පහත සඳහන් කාරණා වලින් එකක් හෝ අදාළ වේ නම් ඔබට ඔක්කාරය/ වමනය සීමේ වැඩි අවදානමක් ඇත,
·         ඔබට ගර්භනී වී ඇත්තේ නිවුන් දරුවන්ගෙන් හෝ ඊට වඩා වැඩි දරුවන් ගණනකින් නම්. මෙසේ වූ විට ඔබගේ ශරීරයේ ඉහතදී සඳහන් කල එච් සී ජී (HCG) හෝමෝනය සහ වෙනත් හෝමෝන අධික ලෙස නිපදවේ. එම නිසාම නිවුන් දරුවන් ලැබීමට සිටින මවුවරුන්ට ඔක්කාරය/වමනය සැදුනු විට එය අනිත් මවු වරුන්ට වඩා දරුණු වීමටද ඉඩ ඇත. නමුත් ඔක්කාරය/වමනය සෑදීම අනිවාර්යයෙන් සිදු නොවන අතර ඔබට ඇතැම් විට එය නොසෑදීමටත් ඉඩ ඇත.
·         ඔබට මීට කලින් ගර්භනී වී සිටි අවස්ථා වල ඔක්කාරය/වමනය සෑදුනා නම්.
·         ඔබට උපත් පාලන පෙති (ඔබ මීට කලින් එව භාවිතා කර ඇත්නම්) වලට ඔක්කාරය/වමනය සැදී තිබේ නම්.
·         ඔබට රථ වාහන වල ගමන යන විට සාමාන්‍යයෙන් ඔක්කාරය/වමනය සැදෙන්නේ නම්.
·         ඔබගේ මව,සහෝදරිය ඇතුළු ලඟම ලේ නෑයන්ට ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සෑදී ඇත්නම් ඔබට ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සෑදීමට ජානමය නැඹුරුතාවයක් තිබිය හැක.
·         ඔබට ඉරුවාරදය (migraine) නිසා ඔලුවේ කැක්කුම නිතර සෑදෙන්නේ නම්.
·         ඔබට ලැබෙන්නට සිටින්නේ ගැහැණු දරුවක් නම්.

මාගේ ඔක්කාරය/වමනය මට ලැබෙන්නට සිටින දරුවාටත් බලපායිද?


ගර්භනී සමයේ බොහෝ කාන්තාවන්ට සෑදෙන සුළු ඔක්කාරය/වමනය තත්වය ඔබගේ දරුවාට අහිතකර බලපෑමක් ඇති නොකරයි. සත්‍ය වශයෙන්ම ඔබගේ ගර්භනී සමයේ පළමු මාස තුන තුලදී බර වැඩි නොවුනද ඔබ අවශ්‍ය පරිදි දියර වර්ග පානයට ගනිමින් විජලනයෙන් වැළකී සිටින්නේ නම් හා අධික ලෙස නිරාහාරව නොසිටින්නේ නම් ඔබට ප්‍රශ්නයක් ඇති නොවනු ඇත. එසේ බොහෝ විට මෙම තත්වය ඉක්මනින් පහව ගොස් ඔබගේ ආහාර රුචිය ඉක්මනින් නැවත සාමාන්‍ය අතට හැරෙනු ඇත.
කෙසේ නමුත් ඔබට ඔක්කාරය/වමනය නිසා සාමාන්‍ය සමබර ආහාර වේලවල් ගැනීමට නොහැකි වේ නම් ඔබ මේ පිලිබඳ ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කල යුතුය.ඇතැම් විට ඔබගේ වෛද්‍යවරයා ඔබට අතිරේක විටමින් වර්ග ආදිය නිර්දේශ කරනු ඇත.
ඉතා දරුණු සහ කල පවතින වමනය නියමිත මාස ගණන සම්පූර්ණ වීමට කලින් දරුවා බිහි වීම, අඩු බර දරු උපත් සහ දරුවා උපදින විට නියමිත ප්‍රමාණයට වඩා කුඩා වීම ආදී සංකූලතා වලට හේතූ විය හැක. නමුත් පර්යේෂණ වලින් සොයා ගෙන ඇත්තේ ගර්භනී කාලය තුලදී අවම වශයෙන් කිලෝ 7ක වත් බර වැඩි වීමක් ලබා ගන්නා කාන්තාවන්ගේ දරුවන් මෙම සංකූලතා වලට ගොද්දුරු නොවන බවයි.

මට උදෑසන ඔක්කාරය/වමනය නොතිබීම මගේ දරුවා ගබ්සා වීමට යන බවට සාධකයක්ද?


එසේ නැත. ඇතැම් පර්යේෂණ වලින් ගබ්සා වීම් වලට ලක් වන කාන්තාවන්ට ඔක්කාරය/වමනය නොසෑදීමට වැඩි ඉඩක් ඇති බව සොයා ගෙන ඇති නමුත් ගර්භනී සමයේ ඔක්කාරය/වමනය නොසෑදී ඉතා සුරක්ෂිත ගර්භනී සමයක් ගත කරන කාන්තාවන් බොහොමයක් සිටී. ඔබ බොහෝ විට අයත් වීමට ඇත්තේ මෙම කාන්තාවන් ගොඩට බැවින් බිය නොවන්න.

ගර්භනී කාලයේ ඔක්කාරය සහ වමනයෙන් සහනයක් ලබා ගැනීමට මට කල හැක්කේ කුමක්ද?


ඔබට ඇත්තේ ඉතා සුළු ඔක්කාරය/වමනය තත්වයක් නම් සාපේක්ෂව සරල ක්‍රියාමාර්ග කිහිපයක් ඔබට සහනයක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් විය හැක. (එසේම මෙම ප්‍රතිකර්ම සාර්ථක නොවුවහොත් ඔබට වෛද්‍ය නිර්දේශ යටතේ ඖෂධ පාවිච්චි කල හැක.) මෙම ප්‍රතිකර්ම වලින් වැඩි ප්‍රමාණයක් පර්යේෂණ මගින් ඔප්පු කර නැති නමුත් ඔබොහෝ වෛද්‍යවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේවා නිර්දේශ කරන අතර, බොහෝ කාන්තාවන් මෙම ප්‍රතිකර්ම වල සාර්ථක භාවය සහතික කරති.
·         නිතරම ආහාර කුඩා ප්‍රමාන වලින් ආහාරයට ගැනීම මගින් ඔබගේ උදරය දගින් දිගටම හිස වීමෙන් වලක්වා තබා ගැනීම. සමහර කාන්තාවන්ට මේ සඳහා පිෂ්ඨය අධික ආහාර භාවිතා කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගත හැක.
·         සරල කෙටි ආහාර වර්ගයක් (සැහැල්ලු බිස්කට් වර්ගයක් වැනි) ඔබගේ ඇඳ අසල භාජනයක තබා ගන්න. ඔබ උදයේ නැගිටීමට පෙර එම ආහාරයෙන් මඳක් ආහාරයට ගන්න. ඊට පසු මිනිත්තු 20-30ක් පමණ ඇන්දේ නිදා ගෙන සිට ඉන් පසු සෙමින් නැගිටින්න
 එසේම ඔබට රාත්‍රියේ යම් ඔක්කාරයක් දැනෙන්නේ නම්ද ඕම ආහාරයෙන් මඳක් ආහාරයට ගන්න.
විශේෂයෙන්ම ඇඳෙන් නැගිටින විට සෙමෙන් නැගිටීම සහ නැගිටින විට මඳක් ඇඳ මත වාඩි වී සිට නැගිටීම ඔබට ඔක්කාරය අඩු කිරීමට සෑහෙන පිටුබලයක් සපයනවා ඇත.
·         ඔබට ඔක්කාරය/වමනය ඇති කරවන ආහාර හෝ සුවඳ වලින් ඈත් වී සිටීමට උත්සාහ කරන්න. නමුත් ඔබට සියලුම ආහාර වලින් ඔක්කාරය ඇති වේ නම්, ඔබට යන්තම් හෝ දරා සිටීමට හැකි කෑම වර්ග වලින් හෝ යුත් ආහාර වේලක් ගැනීමට උත්සාහ කරන්න. ඔබ නිරාහාරව සිටීම නොකළ යුතුයි.
·         ඇතැම් විට වඩාත් රස අඩු ආහාර වර්ග ගැනීම මගින් ඔබගේ ඔක්කාරය/වමනය පාලනය කර ගැනීමට පිටුබලයක් ලැබෙනු ඇත. එසේම ආහාර රස්නය නිවුණු පසු ආහාරයට ගැනීමද ඔබට අත්හදා බැලිය හැක. එවිට සුවඳ දැනීම අඩු නිසා ඔක්කාරය/වමනය අවම වනු ඇත.
·         තෙල් සහිත ආහාර දිරවීමට වැඩි වෙලාවක් යන නිසා ඔක්කාරය/වමනය සෑදීමට වැඩි ඉඩක් ඇත. එමනිසා ඒවා ආහාරයට ගැනීම අඩු කරන්න. එසේම තෙම්පරාදු කල, අධික ලෙස මිරිස් සහිත හෝ ආම්ලික ආහාර ගනීමන්ද වලකින්න.
·         ආහාර වේල් අතරතුර දියර වර්ග විටින් විට පානය කරන්න. නමුත් එකවර විශාල ප්‍රමාන වලින් බීමට නොගන්න. එවිට ඔබගේ උදරය පිරී ආහාර ගැනීම තවත් අමාරු වේ.
·         ඔබට අධික ලෙස වමනය යන්නේ නම් වෛද්‍ය උපදෙස් මත ජීවනී පානය කරන්න.
·         ඇතැම් කානතාවන්ට සමහර සුවඳ වලට ඔක්කාරය/වමනය සෑදේ. ඔබත් මෙසේ වේ නම් සහ එසේ ඔබට ඔක්කාරය/වමනය සෑදෙන සුවඳ වර්ග ඔබ හඳුනා ගෙන ඇත්නම් හැකිතාක් එම සුවඳ වලින් ඈත් වී සිටීමට උත්සාහ කරන්න.
·         ඔක්කාරය/වමනය සෑදීම ඔබ වඩාත් වෙහෙසට/තෙහෙට්ටුවට පත වී සිටින විට වැඩි වේ. එම නිසා ඔබගේ වෙහෙස අඩු කර මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම් වල නියැලීමට උත්සාහ කරන්න.
·         ඔබට ලැබෙන යකඩ පෙති මගින් වමනය වැඩි විය හැක. නමුත් මෙම තත්වය යකඩ පෙති රාත්‍රියට නිදා ගැනීමට මඳකට පෙර ගැනීමෙන් වලකා ගත හැක.
·         ඉඟුරු ඔක්කාරය/වමනය අඩු කරවන අගනා ස්වාභාවික ඔසුවකි. සැබෑවටම ඉඟුරු යොදා සෑදූ ජින්ජර් බියර්, ඉඟුරු යොදා සෑදූ තේ මේ සඳහා සුදුසුය.

ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සඳහා බෙහෙත් තිබේද


ඔබට ඉහත සඳහන් කර ක්‍රම වලින් සහනයක් ලබා ගැනීමට නොහැකි නම් හෝ ඔබට තදබල ලෙස ඔක්කාරය/වමනය තිබේ නම් ඔබගේ වෛද්‍යවරයා හමුවී බෙහෙත් ලබා ගත හැක.
බොහෝ විට ඔබට ඔක්කාරය/වමනය අඩු කරවන බෙහෙත් වලට අමතරව විටමින වර්ග (උදා: විටමින් B6 වැනි) ඔබගේ වෛද්‍යවරයා විසින් ලබා දෙනු ඇත. වමනය අඩු කිරීම සඳහා මෙම විටමිනයේ සාර්ථක භාවය පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
එසේම ඔබගේ සායන වෛද්‍යවරයාද ඔබගේ මෙම රෝගී තත්වය පිලිබඳ දැනුවත් කරන්න. එවිට ඔහුට ඔබ දැනට ගන්නා බෙහෙත් වර්ග වලට අවශ්‍ය නම් වෙනස් කම කල හැකි වේ.

මට ඉතාම තදබල ලෙස ඔක්කාරය/වමනය ඇත්නම් මම කල යුත්තේ කුමක්ද ?


ඔබට ඉතාම තදබල ලෙස වමනය යන්නේ නම්, වමනය පැය විසි හතරක් තුල නවතින්නේ නැති නම්, හෝ 
ඔබට අධික ලෙස පිපාසය දැනෙන්න්නේ නම්, තොලකට වේලී ඇති නම් වමනය නිසා කිසිවක් පානය කිරීමට‍ නොහැකි නම් වහාම ඔබගේ වෛද්‍යවරයා හමු වන්න.
එසේම ඔබ‍ට ලේ වමනය යන්නේ නම් (මඳ වසයෙන් හෝ), බද රිදෙන්නේ නම් හෝ ඔබට ශරීරය තදබල ලෙස දුර්වල වී ඈති බවක් හැඟෙන්නේ නම් එවිටද ඔබ වෛද්‍යවරයා හමු වී මේ ගැන දැනුවත් කල යුතයි.
ගර්භනී කාන්තාවන්ගෙන් 1% ක් පමණ “හයිපර්-එමෙසිස් ග්‍රවිඩාරුම්” (hyperemesis gravidarum) නම් රෝගී තත්වයට ලක්වී සිටීමට ඉඩ ඇත. එම රෝගී තත්වයේ ලක්ෂණ වන්නේ ඉතාම තදබල ලෙස වමනය යාමයි. එම නිසා ඔබට තදබල ලෙස වමනය ඇත්නම් ඔබගේ වෛද්‍යවර හමු වීම වැදගත් වන්නේ මේ රෝගී තත්වයට වෛද්‍ය ප්‍රතිකාර අත්‍යාවශ්‍ය නිසාය.

2 comments:

  1. ඔබගේ කරුණු බොහෝ ප්‍රයෝජනවත් බොහොම ස්තූතියි. දිගටම ලියන්න‍.

    ReplyDelete